clock December 24,2023
SLT ඩිජිටල් සර්විසස් දරුවන් පාසල් පැමිණීම පිළිබඳව දෙමාපියන්ට දැනුම් දෙන සුවිශේෂී ඩිජිටල් සේවාවක් හඳුන්වා දෙයි

SLT ඩිජිටල් සර්විසස් දරුවන් පාසල් පැමිණීම පිළිබඳව දෙමාපියන්ට දැනුම් දෙන සුවිශේෂී ඩිජිටල් සේවාවක් හඳුන්වා දෙයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL හි නව ඩිජිටල් විසඳුම් සම්පාදක අංශයවන SLT Digital Services, දරුවන් පාසල් පැමිණීම පිළිබඳව දෙමාපියන්ට දැනුම් දෙන සුවිශේෂී ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා පියවර ගනු ලැබීය. මෙය තම පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන (ESG) ප්‍රයත්න යටතේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය දිරිගැන්වීම සඳහා SLT Digital Services ගත් සුවිශේෂී පියවරක් ලෙස හැඳින්විය හැකිය.

මෙහි මූලික අරමුණ වන්නේ, දරුවන් පාසල් පැමිණීම නිවැරදිව සහ කාර්යක්ෂම ලෙස නිරීක්ෂණය කර ඒ බව දෙමාපියන් වෙත වාර්තා කිරීමයි. මෙමගින් පාසල්වලදී පමණක් නොව, අමතර පන්ති සහ පොදු ප්‍රවාහන සේවා වැනි ස්ථානවලදී දරුවන්ගේ පැමිණීම පිළිබඳ දැනුම්දීම් දෙමාපියන්ගේ ජංගම දුරකථන වෙත යොමුකෙරේ.

මෙය දරුවන් පාසල් වෙත පැමිණීම සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට ගුරුවරුන්ටද මහෝපකාරී වනු ඇත. නිසි අවසරය හිමි පුද්ගලයන්ට මෙම තොරතුරු වෙත පිවිසීමට හැකියාව ඇති නිසා, මෙමගින් දරුවන්ගේ පැමිණීම තහවුරු කිරීමට ගුරුවරුන්ට අවස්ථාව ලැබේ. මෙම විසඳුම සඳහා නවීන ජෛවමිතික සහ RFID උපාංග භාවිතා කෙරේ.

මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය අනුරාධපුර නිවන්තක චේතිය ජාතික පාසලේදී සාර්ථක ලෙස ක්‍රියාවට නංවන ලදි. අධ්‍යාපන අමාත්‍යංශයේ නිසි අවසරය ලබාගෙන, පාසලේ සහයෝගය සහිතව දත්ත එක්රැස් කිරීම සිදුකරමින් මෙම අත්හදා බැලීම සිදුකෙරුනි.

ඩිජිටල් පරිවර්තනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට සහ අධ්‍යාපන ආයතනවලට අවශ්‍ය සහයෝගය ලබාදීමට SLT Digital Services කැපවී සිටී. දරුවන්ගේ ආරක්ෂාව අරමුණු කරගත් මෙම නව වැඩසටහන, එම කැපවීමෙහි එක් පියවරක් පමණි.

“මෘදුකාංග හා යෙදුම් නිර්මාණ සමාගමක් වන Future Network Holding Private Limited සමග එක් වී නිර්මාණය කළ මෙම විසඳුම ඉදිරියේදී රජයේ පාසල්වලට මෙන්ම පෞද්ගලික පාසල්වලටත් හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා. පාසල් අන්තර්ජාල යෙදුමක්ද සහිත මෙම විසඳුම පාසල්වලට ලබාදෙන්නේ කිසිදු ගාස්තුවකින් තොරවයි. දෙමාපියන්ට Android සහ iOS යෙදුමක් හරහා මෙම සේවාව භාවිතා කළ හැකි අතර, එහි දත්ත සහ Hosting ගාස්තු පියවා ගැනීම සඳහා නාමික ගාස්තුවක් පමණක් අයකෙරෙනවා. පාසල්වලට බාධාවකින් තොරව විශ්වාසනීය සේවාවක් ලැබෙන බව සහතික කිරීම සඳහා අදාළ උපකරණයේ නඩත්තු කටයුතු සිදුකිරීමටද අප බලාපොරොත්තු වනවා” යැයි SLT Digital Services හි ප්‍රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා පැවසී ය.

මෙම සේවාව භාවිතා කිරීමට කැමති දෙමාපියන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා HNB Solo Mobile Wallet (SOLO app) හරහා ග්‍රාහකත්ව ගෙවීම් සිදුකිරීමට අවස්ථාව සලසා දී ඇත. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0704240040 දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකි වේ.

 SLT ඩිජිටල් සර්විසස් (පුද්) සමාගම පිළිබඳව

SLT ඩිජිටල් සර්විසස් (පුද්) සමාගම යනු SLT-MOBITEL හි නව ඩිජිටල් විසඳුම් සම්පාදක අංශයවන අතර, ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත නවීනතම ඩිජිටල් තාක්ෂණික විසඳුම් පිරිනැමීම එහි අරමුණයි.

 ඡායාරූපය: SLT ඩිජිටල් සර්විසස් (පුද්) සමාගම හි ප්‍රධාන විධායක නිලධාරී උපුල් මංචනායක මහතා සහ Future නෙට්වර්ක් හෝල්ඩින්ග්  (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සනත් පිලපිටිය මහතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව. දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ. 

You Must be Registered Or Logged in To Comment Log In?

Related News

Please Accept Cookies for Better Performance